Gossips

නිවසක් බිඳ මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් තිදෙනෙක් අල්ලයි (ඡායාරූප)

මහියංගනය, පඟරගම්මන ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් හතලිස් දහසක මුදලක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිදීමාලියද්ද පොලිසිය පැවසුවේ සැකකරුවන් අද (09) අලුයම මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පඟරගම්මන සහ කුඩාලුණුක ගම්මානවල පදිංචි අවුරුදු 18, 20 සහ 40 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.
මුහුණු ආවරණය කරගත් හිස් වැසුම් පැළඳගෙන මහියංගන – බිබිල මාර්ගයේ ආඳා උල්පත මංසන්ධිය හරහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් නවත්වා තිබෙනවා.
අනතුරුව ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ මෙම සොරකම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව සඳහන්.
මෙම පුද්ගලයින් තිදෙනා අද (09) අලුයම් කාලයේ නිවසේ වහලයෙන් ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා.
සැකකරුවන් අද (09) මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – වියලුව, නිශාන්ත කුමාර