Gossips

නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – කැරැල්ල අවසන් නැතැයි රංගේ බණ්ඩාර කියයි

ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව හඬ නැගූ පාලිත රංගේ බණ්ඩාර වාරිමාර්ග ජල කලමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, මෙතෙක් ඔහු දැරූ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයට ජලසම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ යන විෂයන්ද එක්කර තිබෙනවා.
දිලිප් වෙදආරච්චි දිවුරුම් දෙනු ලැබුවේ ධීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ඔහුට ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ විෂයද මෙවර සංශෝධනයේදී එක් කෙරුණා.
පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මීට පෙර මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවනු ලැබුවේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරායි.
විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ මොහාන්ලාල් ගේ‍්‍රරූ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චම්පිකා ප්‍රේමදාස වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දුන්නා.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද උදෑසන දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත්, ඊට ටික වේලාවකට පසු ඔහු විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස මෙතෙක් කටයුතු කළ ශ්‍රියාණි විජේවික්‍රමට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයද අද හිමිවුණා.
පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික නිදහස් පෙරමුණේ සිට නිදහස් පක්ෂයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානයකද අද රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
ඒ, අමාත්‍ය මහින්ද අමරවීර දැරූ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේයි.
මීට අමතරව නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකුද අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ අමීර් අලී, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු සංවර්ධන යන විෂයන් සඳහා කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙවර සංශෝධනයේදී පත් කිරීමද විශේෂත්වයක්.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුනේෂ් ගන්කන්ද, අද දිවුරුම් දුන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රන්ජන් රාමනායකගෙන් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් යන විෂයන් ඉවත් කර, එම විෂය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වෙත ලබාදී තිබෙනවා.
ඒ අනුව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ කරුණාරත්න පරණවිතාන අද දිවුරුම් දුන්නේ විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු මෙන්ම කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එම විෂයන් සඳහාද කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කර තිබීම විශේෂත්වයක්.
මීට පෙර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.එම්.එම්. හාරිස් අද රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
සාරතී දුෂ්මන්ත අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහුගෙන් බුද්ධශාසන විෂය ඉවත් කර තිබෙනවා.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත තෙවරප්පෙරුම අද දිවුරුම් දෙනු ලැබුවේ තිරසාර සංවර්ධන වනජිවි හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මීට පෙර එම ධුරය දරනු ලැබුවේ ආණ්ඩුවෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී. ජයසේන විසින්.
විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මනූෂ නානායක්කාර විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.
මීට පෙර එම නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබුවේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායකයි.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ අද උදෑසන දිවුරුම් දුන් මුත්තු සිවලිංගම්ගේ ධුරය යළි සංශෝධනය කර, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද යළි දිවුරුම් දුන්නා.
මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සෙයිඞ් අලි සහීර් මවුලානා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීමෙන් පසු අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනය විද්‍යානුකූලව සිදුකර ඇති බවයි.