Gossips

නියෝජ්‍ය කථානායක ධුරය ගැන තීරණය අද – එජාපයෙන් ආනන්ද, විපක්ෂයෙන් සුදර්ශනී

පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් 3ක් ඉදිරිපත් වී ඇති හෙයින් ඒ සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමට අද ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි නම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී එම තීරණයට අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව පළ වූ බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ නම නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කර තිබෙනවා.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ඒ සඳහා යෝජනා කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරියයි.
ඒකාබද්ධ විපක්ෂය අද උදෑසන පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.