Gossips

නියෝජ්‍ය කථානායක තෝරන්න, රහස් ඡන්දයක් එන ලකුණු

පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ලබන 5 වන දා නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරයට මන්ත්‍රීවරයෙකු පත් කර ගන්නා ලෙස සභාව ආරම්භයේදීම දැනුම් දෙන බවයි.
යම් හෙයකින් ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම තනතුර සඳහා යෝජනා වුවහොත් රහස් ඡන්දයකට යාමට සිදුවන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ.
එමෙන්ම, පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා කිරීමට නියමිත බව වාර්තා වනවා.
එමෙන්ම ඉදිරිපත් කරන එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ද ආණ්ඩු පක්ෂය සතුව පවතින බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන් කළේ විපක්ෂ නායකවරයා සමඟ සහ විපක්ෂයේ සිටින අනෙකුත් නායකයින් සමඟ සාකච්ඡා කර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ද මන්ත්‍රීවරයෙකු යෝජනා කරන බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අංගජන් රාමනාදන්ගේ නම ද යෝජනා වී තිබුණා.
කෙසේ වෙතත්, පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.