Gossips

නියං සහනාධාර බෙදාහැරීම කඩිනමින්

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වු ජනතාවගේ ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ දැනුවත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුනු බවයි.
ඒ අනුව මහවිලච්චිය, දුණුමඩලාව, ඇලපත්ගම සහ ඔයාමඩුව ප්‍රදේශවල නියං සහනාධාර බෙදාදීම අද දිනය පුරා ක්‍රියාත්මක කෙරුනා.
සහනාධාර ලබාදීමේ වැඩසටහන හෙට සහ අනිද්දා දිනවල ද ක්‍රියාත්මකයි.
සමුපකාර හරහා සහනාධාර ලබාදීම සිදුකෙරෙන අතර වියළි ආහාර මල්ලක් සති දෙකින් දෙකට ලබාදීම සිදු කෙරෙනු ඇති.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර මෙම සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුලු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එම සහන කටයුතු වෙනුවෙන් මාසයකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000 ක් වන අතර එම මුදල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.