වත්මන් රජය විසින් තහවුරු කළ ප්රජාතන්ත්රවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කරගෙන කඳුලූ නොසලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළා.
ඒ මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල රැඳවුම් මංගල්‍යයට එක්වෙමින්.
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ 21 වන සියවසේ මෙරට වාරි විෂ්මිතයක් ලෙසයි.
අද මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ මොරගහකන්ද – වේල්ල කෙළවර නෙළු අඩි 27 ක් උසැති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශෛලමය අනුරුවක් ජනතාවගේ වන්දනාමානය සඳහා ජනාධිපතිවරයා විසින් නිරාවරණය කිරීමත් සමඟයි.
ඉංජිනේරු ආචාර්ය එන්.එන්.එස්. කුලසිංහට ගෞරවයක් වශයෙන් මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ද මෙහිදී සිදුකෙරුණා.
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහුකාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක් එක් කිරීමේ ඓතිහාසික කටයුත්ත ද අද සිදුකිරීම විශේෂත්වයක්.
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 9 ක් දිග උමඟ සහිත ඇළ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.
කළුගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කර ඉදිකෙරුණු කලූගඟ ජලාශයට ජල පිරවීම ජනාධිපතිවරයා විසින් අද සුබ මොහොතින් සිදුකළ අතර, එය දිගින් මීටර් 618ක් වනවා. ජලාශ වේල්ලේ උස මීටර් 67 ක් වන අතර, ජල ධාරිතාවය අක්කර අඩි දෙලක්ෂ 800 ක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000 ක් සඳහා මෙමගින් ජලය සැපයෙන අතර අක්කර 200 කට වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.