Gossips

නිදහස් සන්ධානයෙන් ජනපතිට ලිපියක්

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තාවනවා.
මේ පිළිබඳ අවසන් තීරණය අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අද (19) පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ස්ථිර වුවහොත් නව අගමැතිවරයෙකු පත් කරගන්නා ආකාරය සම්බන්ධව ජනාධිපතිවරයා අද දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමුවනු ඇතැයි වාර්තාවනවා.
ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට යහපාලන රජය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය දැනුම්දෙමින් අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් නොමැතිනම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම යෝග්‍ය බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.
ඒ, ජනාධිපති නිල නිවසේදියි. එහිදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බවයි වාර්තාවන්නේ.