Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින බව ඇමති දුමින්ද කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06) පස්වරුවේ කතානායකවරයාට භාරදීමට නියමිත බව වාර්තා වනවා.
මේ වනවිටත් ඒ සඳහා අත්සන් ලබා ගනිමින් සිටින බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට සහ අනිද්දා විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමු දෙකක් පැවැත්වෙනවා.
ඒ සඳහා සහභාගි වන ලෙස සියලූම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයින් දැනුම්වත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක කියා සිටියේ එම පක්ෂයේ ඇමතිවරුන්ට විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ නම් එය පරාජයට පත් කිරීමට එක්ව කටයුතු කරන බවයි.
මේ අතර, නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එක්සත් ජාතික පක්ෂය නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ගෙන ඒමට නියමිත විශ්වාසභංගය පිළිබඳව අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බව පැවසීම විශ්වාසභංගය මඟ හරවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සැලසුමක් බවයි.
එමෙන්ම, බදුල්ලේ ඊයේ පැවති අප්‍රේල් විරු සමරු දේශනයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ජාතික ආණ්ඩුව මේ වනවිට දෙදරා ගොස් ඇති බවයි.