Gossips

නිදහස් පක්ෂ ඇමතිවරුන් නොමැතිව, කැබිනට් රැස්වීම අවසන්

ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ප්‍රථමවරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොමැතිව අද අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වුණා.
අද උදෑසන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනුයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ.
කෙසේ වෙතත්, නිදහස් පක්ෂ අමාත්‍යවරුන් නොමැති අද එම අමාත්‍ය මණ්ඩල හමුව සාමකාමී ලෙස පැවති බවයි සාකච්ජාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද පැවැති කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ඊයේ පැවැත්වුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගනු ලැබුවා.
නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යෝජනා කර ඇති අතර, පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක එය ස්ථීර කර තිබෙනවා.
කෙසේ නමුත්, තවදුරටත් ජාතික ආණ්ඩුව තුළ සිටිය යුතු බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මීට අමතරව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාර කුමාරණතුංග ද සදහන් කර ඇත්තේ ජාතික ආණ්ඩුව සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටිය යුතු බවටයි.
ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යළි හෙට රැස්වීමට නියමිතයි.
මේ අතර, තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ අමාත්‍යවරුන් 16 දෙනා ධුරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත දැනුම් දීමක් කර ඇති බවයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා සඳහන් කළේ.