නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකුට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව, කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙසට, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, විශ්වාසභංගය ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (07)පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල පළමු දින රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
අද සහ හෙට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වන අතර, විශ්වාසභංග යෝජනාව පිළිබදව ද එහිදී සාකච්ඡා කරනු ඇති.
මේ අතර, තමන් ඇතුළු නිදහස් පක්ෂයේ පිරිසට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට විරුද්ධව අත්සන් කළ විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය ඊයේ පස්වරුවේ කථානායකවරයා වෙත භාර දුන්නා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනාට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහි එම යෝජනාව භාර දුන් බවයි.
අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලට එරෙහිවයි මෙම විශ්වාසභංග යෝජනාව භාර දෙනු ලැබුවේ.
