Gossips

නිදහස් පක්ෂය, රහස් සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ කොළඹ පිහිටි නිළ නිවසේදී ඊයේ රාත්‍රියේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.
ඊට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, දුශ්‍යමන්ත මිත්‍රපාල සහ රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක ඇතුළු පිරිසක් එක්වී ඇති බව සඳහන්.
අග්‍රාමාත්‍යවරයා යටතේ ජාතික ආණ්ඩුව තුළ රැදී සිටිමින් ඉදිරියටත් රජය පවත්වාගෙන යාම සුදුසු විකල්පයක් නොවන බවටයි එම සාකච්ඡාවේදී අවධාරණය වී ඇත්තේ.
තවත් මැතිවරණ කිහිපයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කළ යුතු බව එම සාකච්ඡාවේදී අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.
මේ අනුව අගමැති තනතුර වෙනස් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ඊයේ රාත්‍රියේ පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර හමුවක් අද පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.