Gossips

නිදහස් පක්ෂය මහනුවර නොගිය හේතුව, මහලේකම් දයාසිරි කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර දී ඊයේ (08) සංවිධාන කළ ජන රැළියට නිදහස් පක්ෂය සහභාගි නොවූයේ පොදු සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පොදු සන්ධානය පිහිටුවීමට අදාළ සාකච්ඡා මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.
'ඉවසුවා ඇති' තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ පළමු ජන රැළිය ඊයේ විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවති අතර, ඊට නිදහස් පක්ෂයේ නියෝජිතයින් සහභාගි වී සිටියේ නැහැ.
කෙසේ වෙතත්, පොදු සන්ධානය සකස් කිරීමේ කටයුතු අවසන් වූ පසු අනාගතයේදී මෙම ජන රැළිවලට සහය ලබාදෙන බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.