Gossips

නිදහස් පක්ෂය මඩකලපුවේ, ඒකාබද්ධය ගාල්ලේ සහ ජවිපෙ කොළඹ මැයි දිනය සමරයි

දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති රැසක් අද (07) දිනයේදී ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා.
මැයි 01 වනදාට යෙදී තිබුණු ලෝක කම්කරු දිනය ආසන්නයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබීම හේතුවෙන් කම්කරු දිනය අද සැමරීමට රජය තීරණය කළ අතර, ඒ අනුව මැයි 1 වනදා නිවාඩු දිනයද අදට ලබාදීමට තීරණය කෙරුණා.
ඒ අනුව ජාතික සමගියට කම්කරු ජවය තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මඩකලපුව – චෙන්කලඩි – මාවඩිවෙම්බු හිදී පැවැත්වෙනවා.
මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැස්වීමට සහභාගිවන්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමෙන් කොටසක් පමණක් බවද වාර්තාවනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ ගාල්ල – සමනල ක්‍රීඩංගනයේදියි.
බදු බරට, පාවාදීමට, බැඳුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව යන්න මෙවර එම පක්ෂයේ මැයිදින තේමාවයි.
පොදුජන පෙරමුණේ පෙළපාලිය පස්වරු 1ට ගාල්ල – මහමෝදර ප්‍රදේශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මැයිදින වැඩකටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා ගාල්ල – සමනල ක්‍රීඩාංගණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ ඇතුලූ මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම පවත්වන්නේ කොළඹ – බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදියි.
සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදි පාලනයක් යන්න ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින තේමාවයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ පස්වරු එකට පක්ෂයේ මැයි දින පෙළපාලිය බොරැල්ල – කැම්බල් පිටියෙන් ආරම්භ වන බවයි.
ජාතික හෙළ උරුමයේ මැයි දින සැමරුම එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වනවා.
එම පක්ෂයේ පෙළපාලිය කොළඹ මහජන පුස්තකාලය අසලින් පෙරවරු 9 ට ආරම්භ වන අතර, රැළිය පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදියි.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාලිය සහ රැළිය එහි නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර මධ්‍යයේදී පෙරවරුවේ පැවැත්වෙනු ඇති.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබුවා.