Gossips

නිදහස් පක්ෂය තුළ ඡන්දයක් – මහලේකම්ගේ මාධ්‍ය හමුවත් අවලංගුයි

තමන් දරණ අමාත්‍ය ධුරවලින් ඉවත් වුව ද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දැනුම්දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන් එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 2 ට එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවා ඇති බවට දැනුම්දී තිබුණා.
එහෙත්, පස්වරු 2.45 ට පමණ එම ස්ථානයට පැමිණි සේවකයෙකු දැනුම් දුන්නේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවකට එක්ව සිටින බැවින් අද මාධ්‍ය හමුව නොපැවැත්වෙන බවයි.
මේ අතර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ අනුර ප්‍රියදර්ශන යාපා සිය නිල රථ සහ කාර්යාල උපකරණ භාරදීමට පියවර ගෙන තිබෙනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබදව පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව හෝ ඡන්ද විමසීමකින් පසු තීරණය කෙරෙනු ඇති බවයි.
මේ අතර, පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස් වූ තම සංගමයේ නියෝජිත සභාව මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ප්‍රකාශ කළේ.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ද තමන් ඉදිරියේදී ඉල්ලා අස්වන බව ඔහු සදහන් කළා.