Gossips

නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සදහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් හෙට ලිඛිතව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඒ සදහා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද රාත්‍රියේ සිට සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, සම්මුතිවාදී ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය මුළුමනින්ම ඉවත් විය යුතු බවට යෝජනාවක් ද ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළා.
ඒ ඔවුන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
එමෙන්ම, නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඊයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ එම කණ්ඩායමේ තීන්දු තීරණ ජනාධිපතිවරයා වෙත දැනුම්දීම සදහායි.
ඒ සම්බන්ධයෙන් සහ හෙට දිනයේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළා.