Gossips

නිදහස් පක්ෂයේ වෙනස්කම් ගැන, වාර්තාවක් ජනපතිට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දුන් බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
හෙට (02) දිනයට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම සංවත්සරය නිමිති කරගෙන හෙට දිනය පුරා ස්ථාන රැසකදී ආගමික කටයුතු ද සිදුකෙරෙන බවයි නිදහස් පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම, එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ලබන 06 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ලබන 05 වනදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයේ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානය ලබන 04 වනදා පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු තීරණය කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, හලාවත, මහනුවර, අවිස්සාවේල්ල සහ ගාල්ලේ සිට පැමිණෙන මාර්ගවලින් කොළඹ නගරයට ප්‍රවේශ වීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.