ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේ නම්, ලබන අඟහරුවාදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට ද සහභාගි වන බව නිදහස් පක්ෂයේ 15යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනා මේ වන විටත් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇති බවයි.
මීට පෙර ද 15 කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව වර්ජනය කළා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ මධ්‍යම කාරක සභාවට සහභාගි නොවන බවට කිසිවෙකු මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවයි.
එමෙන්ම ඉදිරිපත් කර ඇති යෝජනා ද ලබන අඟහරුවාදා රැස්වන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙන බව ද මහලේකම්වරයා සඳහන් කළා.
මේ අතර, භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව පත්කළ විශේෂ කමිටුවේදී පසුගිය දා සාකච්ඡාවී තිබෙනවා.
නිදහස් සන්ධානයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම විශේෂ කමිටුව පත් කෙරුණා.
ඒ අනුව එහි පළමු රැස්වීම පසුගිය බදාදා පැවති අතර, ඊට මහජන එක්සත් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙන්ම නිදහස් සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ වන දේශවිමුක්ති ජනතා පෙරමුණ, මහජන පක්ෂයේ නියෝජිතයින්ද එක්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ ෆයිසර් මුස්තාෆා සාකච්ඡාවට සහභාගිව සිටි අතර, නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 15 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් ඊට එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්තයි.