Gossips

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පැවැත්වීමට නියමිතයි.
රාත්‍රී හතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදියි.
නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
එසේම අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමට ද මෙම මධ්‍යම කාරක සභාව සඳහා ආරාධනා කර ඇති අතර, ඔවුන් නොපැමිණෙන බව මේ දක්වා දැනුම්දී නොමැති බවද මහලේකම්වරයා සඳහන් කළා.
මෙම ආරාධනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි නොවීමට මීට පෙර සිටම තීරණය කර ඇති බවයි.