Gossips

නිදහස් කුසලාන තරඟාවලියේ දී වැරදුන තැන තිසර හෙළිකරයි

නිදහස් කුසලාන තරඟාවලියේ පළමු තරගයේදීම ඉන්දියාව පරාජය කිරීමත් සමගින් බොහෝ දෙනා අනුමාන කළේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ ශූරතාව දිනාගනු ඇත බවටයි.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරඟයත් පරාජය වීමට සිදුවුණා.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට ඇද වැටී තිබෙනවා.
මේ අනුව අද (14) පැවැත්වෙන ඉන්දියා – බංග්ලාදේශ තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට හැකි වනවා.
නමුත් අද තරඟය බංග්ලාදේශය ජයගතහොත් ශ්‍රී ලංකාවට දරුණු ගැටලුවකට මුහුණදීමට සිදුවන අතර ඔවුන්ට අවසන් තරඟයට පිවිසීමට මීළඟ බංග්ලාදේශය සමඟ තරඟය ඉහළ ලකුණු ලබාගැනීමේ දළ වේගයක් සමගින් ජයග්‍රහණය කිරීමට සිදුවනවා.
කෙසේ වුවත් අද තරඟය පරජය වුවහොත් ඉන්දියාවටද අවසන් මහා තරඟයට පිවිසීම සම්බන්දයෙන් ගැටලුවක් ඇතිවනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා වූ තිසර පෙරේරා ඉන්දියාව සමඟ තරඟයේ පරාජයට හේතුව ලෙසින් සඳහන් කළේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි.
දිනේෂ් චන්දිමාල් වෙනුවට තවත් පන්දු යවන්නකු කණ්ඩායමට කැඳවූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු 152 ඉන්දියාව වැනි කණ්ඩායමක් ඉදිරියේ විස්සයි 20 තරඟයකදී ආරක්ෂා කරගත ගැනීමට අපහසු ලකුණු සංඛ්‍යාවක්.
"කලින් තරඟ දෙකේදීම අපට අංක 07 සහ 08 ස්ථාන වෙනුවෙන් පිතිකරුවන් ඕනෑ කළේ නෑ. අපි හිතුවේ අපට පිතිකරුවන් ඇති කියලයි, ඒත් මේ තරඟයේදී අපේ පිතිකරුවන් වැඩේ හරියට කළේ නෑ" යයි තිසර පෙරේරා තරඟයෙන් අනතුරුව සඳහන් කළා.
කාසියේ වාසිය අහිමි වූ නමුත් තරඟයේ 12 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා පිළට ඉදිරියෙන් ලකුණු 113 ක් සටහන් වී තිබුණා.
එහෙත් 12 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී තිසර පෙරේරා දැවී යාමත් සමගින් ලකුණු 38 ක් ඇතුළත තවත් පිතිකරුවෝ පස් දෙනෙක් දැවී ගියා.
"මාත් වගකීම බාරගන්න ඕනා. ආරම්භයේදී මම හොඳින් පන්දුවට පහර දුන්නත් මටත් ඒක දිගටම කරගෙන යන්න බැරිවුණා. මම උත්සාහ කළේ සීමාවෙන් එහාට පන්දුව යවන්නයි. ඒත් කුසල් මෙන්ඩිස් එක්ක අපිට වඩාත් හොඳන් පන්දුවට පහර දෙන්න තිබුණා" යනුවෙන් ආරම්භයේදීම හයේ පහර දෙකකින් සිය ඉනිම ඇරඹූ තිසර පෙරේරා පවසා සිටියා.
තිසර පෙරේරා මෙම තරඟයේදී නායකත්වය බාර ගනු ලැබුවේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවීම හේතුවෙන්.
ඉකුත් සෙනසුරාදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයේදී නියමිත කාලය ඇතුළත යැවිය යුතු ඕවර සංඛ්‍යාවෙන් 04 ක් අඩුවීම නිසා චන්දිමාල්ට විස්සයි 20 තරග දෙකක් තහනම් කෙරුණා.
කාසියේ වාසිය දිනාගත් රෝහිත් ෂර්මා කිසිදු පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරාගත් නමුත් ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග තිදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට නොබියව මුහුණ දුන්නා.
"කුසල් මෙන්ඩිස් හරි අපූරුවට පන්දුවට පහර දුන්නා. ඒත් කියන්න කණගාටුයි, අපේ ලකුණු සංඛ්‍යාව මේ වගේ තණතීරුවකදී ආරක්‍ෂා කරගන්න පුළුවන් තරමේ එකක් නෙමේ. මේක පිතිකරුවන්ට අතිශයින් යෝග්‍ය තණතීරුවක්"
"අපිට ලකුණු 25 ක් 30 ක් මදිවුණා. අපේ පරාජයට මූලික හේතුව ඒක තමයි. කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නත් අනෙක් අයට තමන්ගේ කාර්යය හරියට කරගන්න බැරිවුණා" යනුවෙන් තිසර පෙරේරා වැඩිදුරත් පවසා සිටියා.
"ඇත්තම කියනවා නම් අපේ පළමු තරඟය (ඉන්දියාවට එරෙහිව) දිහා බැලුවොත් ඒ තරඟයේදී අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මමයි දසුනුයි තමා තරඟය ඉවර කළේ. අන්තිම තරඟ දෙකේදී හැරෙන්නට අපේ පිතිකරුවන් හොඳින් ලකුණු ලබාගත්තා"
"අපේ පිතිකරුවන් හරියට පන්දුවට පහර දුන්නේ නෑ. පරාජයට ලොකුම හේතුව ඒකයි” යයි කී තිසර පෙරේරා පැවසුවා.
"ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ කඩුලු දෙක තුනක් බිඳ වැටුණා. ඒ වෙලාවේ අපිට ටිකක් අල්ලගෙන ඉන්න තිබුණා. අපි එහෙම කළා නම්, අපට ලකුණු 180 ක් විතර ලේසියෙන් ගන්න තිබුණා. මේ වගේ තණතීරුවකදී තරඟයක් දෙන්න නම් පන්දු යවන්නන්ටත් ලකුණු 175 ක් විතර තියෙන්න ඕනෑ. ඒත් ඒ වෙනුවෙන් අපි පන්දුවට පහර දුන්නේ නෑ" යයි ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුන තැන තිසර පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම සම්බන්ධයෙන්ද පවතින්නේ තරමක අවිනිශ්චිත විශ්වාසයක්.
නිදහස් කුසලාන තරඟාවලියේ මෙතෙක් පැවැති තරඟ වලදී අඩුවෙන්ම ප්‍රහාරයට ලක්වූ පන්දු යවන්නන් 10 දෙනා අතර සිටින්නේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පමණි.
එහි පස්වැනි ස්ථානයේ සිටින ධනුෂ්ක ගුණතිලකගේ ඕවර 05 කින් පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 38 ක් පමණයි.
එහි හත්වැනි ස්ථානයේ සිටින අකිල ධනංජය යැවූ ඕවර 11 න් ලබාගත් ලකුණු සංඛ්‍යාව 92 ක්.
මොවුන් දෙදෙනාම එක්ව තරඟ තුනකදී දවාගෙන ඇත්තේ කඩුලු 03 ක් පමණයි.
නිදහස් කුසලාන තරඟාවලියේදී පිතිකරුවන් පාලනය කරගැනීම අතින් වඩාත්ම සාර්ථක පන්දු යවන්නන් අතර ජීවන් මෙන්ඩිස් (11), තිසර පෙරේරා (12), සුරංග ලක්මාල් (14), දුෂ්මන්ත චමීර (17) සහ නුවන් ප්‍රදීප් (19) යන සියලු දෙනාම හිමිකරගෙන ඇත්තේ 10 වැන්නාගෙන් පහළ ස්ථාන වීම විශේෂත්වයක්.
නිදහස් කුසලාන තරඟාවලයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකුගේ ඕවරයකින් ලබාගත් ලකුණු සංඛ්‍යා පිළිවෙලින් සටහන් වන්නේ 8.88 (ජීවන් මෙන්ඩිස්), 9.00 (තිසර පෙරේරා), 9.50 (සුරංග ලක්මාල්), 10.00 (දුෂ්මන්ත චමීර) සහ 11.50 (නුවන් ප්‍රදීප්) වශයෙන්.
ශ්‍රී ලංකා පිතිකරුවන් ඕවර 20 කදී ලබාගත් ලකුණු 214 හඹා යමින් බංග්ලාදේශ පිතිකරුවන් වාර්තාගත ජයක් ලබාගත්තේ එවන් තත්ත්වයක් තිබියදී.