Gossips

නිකවැරටියේදී ලොරි රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

නිකවැරටිය – රස්නායකපුර – සිරිසේනවත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට පොලීසිය අද උදෑසන වෙඩි තබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අණ නොතකා ධාවනය වූ නීතිවිරෝධී ලෙස වැලි පැටවූ ලොරි රථයක් පොලිස් නිලධාරීන් යටකර පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ලොරි රථයේ ඉදිරිපස වීදුරුවට සහ රියදුරුට අනෙක් පසින් ඇති ආසනයට හානිවී තිබෙනවා.
කෙසේ වෙතත් ලොරි රථය පැදවූ එහි හිමිකරු වන සරත් ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ලොරි රථයේ වැලි නොතිබූ බවයි.
ගඩොල් පැටවීම සඳහා ගොස් ඒවා නොතිබීම නිසා නැවත පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ලොරි රථය ධාවනය කළ පුද්ගලයාට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා පවතින බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.
මේ අතර ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට රථවාහන පොලිස් නිලධාරියෙකු පහරදෙන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතිනවා.