Gossips

නැවත පාකිස්තානයට පැමිණෙන බව නවාස් ශරීෆ් කියයි

දූෂණ චෝදනා මත ඊයේ වසර 10ක සිර දඩුවමක් නියම කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් තමන් නැවත පාකිස්තානයට පැමිණෙන බව ප්‍රකාශ කළා.
නඩු තීන්දුව ප්‍රකාශ කරන විට ඔහු මෙන්ම සත් වසරක සිර දඬුවම් නියම වූ ඔහුගේ දියණිය මාර්යම් ලන්ඩනයේ රැදී සිටි අතර, තීන්දුව ප්‍රකාශ කිරීම කල් දමන ලෙස ඔවුන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
නවාස් ශරීෆ්ගේ බිරිඳ කුල්සූම්, පිළිකා රෝගයට ප්‍රතිකාර ලැබීම සඳහා පසුගිය වසරේ ලන්ඩනයට පැමිණි අතර, නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය පාකිස්තානයේ පැවති නඩු විභාග වාර 100කට වැඩි සංඛ්‍යාවකට පෙනී සිටියා.
ලන්ඩනයේ සුඛෝපභෝගී නිවහන් පෙළක් හිමි කර ගැනීම තුළින් මූල්‍ය දූෂණ සිදුකළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වූයේ.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලන්ඩනයේ සිට ප්‍රකාශයක් කළ නවාස් ශරීෆ් කියා සිටියේ තමා නිර්දෝෂී බැවින් පාකිස්තානයට පැමිණ සිරගත වී අඛණ්ඩව අරගලයේ නිරත වන බවයි.