Gossips

නැගී සිටිය හැකි රටක් බව පෙන්වමු – ජනපති නිදහස් දින පණිවුඩයෙන් කියයි

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලූ මුවදොර පිටිය කේන්ද්‍ර කොටගෙන අද පැවැත්වෙනවා.
ඊට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් ඇයගේ බාල පුතු වන එඩ්වඩ් කුමරු සහ පොෂී කුමරියද එක්වනු ඇති.
නිදහස් දින සැමරුම වෙනුවෙන් ඇමරිකාව, රුසියාව, චීනය ඇතුලූ රටවල් රැසක නායකයන් ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් පණිවුඩ යොමුකර තිබුණා.
අදට යෙදෙන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව නිදහස් දින ජාතික උළෙල පැවැත්වෙන ගාලූ මුවදොර මාර්ගයේ සහ ඒ අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
මේ අතර ස්වදේශීය අනන්‍යතාවයෙන් ඔප්නැංවුණු ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අභියෝගයක් ඉදිරියේ නැගී සිටිය හැකි බව ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදට යෙදෙන 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකාව යනු යුහුසුළුව නැගී සිටිය හැකි රටක් බව මේ මොහොතේදී අප නැවතත් සනාථ කළ යුතුව ඇති බවයි ජනාධිපතිවරයා එමගින් සදහන් කරන්නේ.
ඒ සදහා දියත් කළ යුතු සංග්‍රාම ගණනාවට සැමට සම අවස්ථා හිමි වන හරිත සංවර්ධනයක් කරා යොමුවීම මෙන්ම ඒ තුළින් ජාතික සංහිදියාව සාක්ෂාත් කර ගැනීම ද මානව සම්පත ගෝලීය වශයෙන් තරඟකාරි මට්ටමට ගෙන ඒමට ද ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ඉලක්ක බවද නිදහස් දින පණිවුඩයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
නිදහස් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ දිනූ නිදහස අර්ථවත් කර ගැනීමට වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා එකම දැයක් තුළ අභිමානවත්ව සාමකාමීව එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීම බවයි.
පසුගිය කාල වකවානුව තුළ රටට ලැබී තිබූ නිදහස නිසියාකාරයෙන් භුක්ති විසදීමට නොලැබුණු බව සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වා දෙන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සියලූම ජනතාවට නිදහසේ ජීවත් වීමට සම අවස්ථාවන් හිමිවිය යුතු බවයි.
මේ අතර, 70 වන නිදහස් දිනය සමරන අද දිනයේ යහගුණයෙන් පොහොසත්ව රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය සමඟ නිදහසේ නිසි ඵල නෙලා ගැනීමට උත්සුක වීමට අදිටන් කර ගත යුතු බවයි පණිවුඩයක් නිකුත් කරමින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ.
එසේම, නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ප්‍රකාශ කළේ ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික අනන්‍යතාවයන් සුරක්ෂිත වන පරිදි සහජීවනය හා මානව ධර්ම වගා කර ගැනීමටත් එමගින් සමෘද්ධිය හා සෞභාග්‍ය උදා කර ගැනීමට අදිටන් කර ගත යුතු බවයි.
රට පත්වෙමින් පවතින දරුණු ආධ්‍යාත්මික සෝදා පාළුවට විසදුම තිබෙන්නේ ජාතික ප්‍රතිපත්ති සංස්කරණයේවත් නීති සම්පාදනයේ හෝ ව්‍යවස්ථා සංශෝධනයක නොව පුළුල් ආධ්‍යාත්මික පිබිදීමක් තුළ බවයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.