Gossips

නැගී එන කණ්ඩායම් තරඟාවලියෙන් අසලංක, වැන්ඩසේ ඉවතට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන චරිත් අසලංක ඕමානය සමඟ පැවති තරගයේදී තුවාල ලැබීම නිසා තරගාවලියෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.
ඔහු වෙනුවට ඉදිරි තරගවලදී කණ්ඩායම මෙහෙයවනු ඇත්තේ ෂම්මු අෂාන් විසින්.
පළමු තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූ ජෙෆ්රි වැන්ඩසේ ද ඉදිරි තරග සඳහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයක සඳහන්.
චරිත් අසලංක සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග කණ්ඩායමට එක්වනු ඇති.
අසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් තරගාවලිය කාණ්ඩ දෙකක් ලෙස පැවතෙන අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඕමානය ඒ කාණ්ඩය යටතේ මෙරට පැවැත්වෙන තරග සඳහා සහභාගිවනවා.
පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින්නේ පාකිස්ථානයේදියි.
කෙසේ නමුත් අවසන් පූර්ව වටයේ සිට ඉදිරි තරග සියල්ල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.
මෙතෙක් පැවති ඒ කාණ්ඩයේ තරගවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් ජයග්‍රහණය බැගින් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද නැවතත් ඇෆ්ගනිස්ථානය සමඟ තරග වදිනවා.