Gossips

නාලක සිල්වා යළි රිමාන්ඩ් – අධිකරණයට නොපැමිණි රහස් පොලීසියට නොතීසි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් විමර්ශන කටයුතු සිදුකරන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ.
ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම වැනි සිද්ධියක් පිළිබදව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් හැසිරීම අනුමත කළ නොහැකි බවයි.
එමෙන්ම, ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කිරීමට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.
මේ අතර, ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ වෛද්‍ය වාර්තා අනුව වැඩිදුර ප්‍රතිකාර බන්ධනාගාර රෝහල තුලදී ලබා දෙන ලෙස ද නියෝග කළා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ ඇප අයදුම්පත සම්බන්ධයෙන් වන තීන්දුව ඉදිරි දිනයකදී ලබාදෙන බවයි එහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.