ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා බැඳුම්කරයක් මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර නොමැති බවට නිගමනය කිරීමෙන් පසු යලි අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කර ඔහු බැඳුම්කරයක් මත මුදාහරින ලෙසයි ඔහු එහිදී කියා සිටියේ.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 115 – 2 වගන්තිය යටතේ විත්තියේ නීතීඥයා කළ එම ඉල්ලීම අනුව ඔහු බැඳුම්කරයක් මත මුදාහරින්නේද නැද්ද යන නියෝගය ලබන මස 9 වනදා ලබා දෙන බව මෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ප්‍රකාශ කළා.
එමෙන්ම චෝදනා එල්ලවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මීළඟ නඩු වාරයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
