Gossips

නායයාමේ අවදානමක් නිසා පවුල් 5 ක් පදිංචි ස්ථානවලින් ඉවත් කෙරේ (ඡායාරූප)

නායයාමේ අවදානමක් හේතුවෙන් නෝර්වුඩ් නිව්වැලි ප්‍රදේශයේ පවුල් 5 කට දැනට පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත්වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය දැනුම්දී තිබෙනවා.
නායයාමේ අවදානම හේතුවෙන් ඊයේ රාත්‍රී සිට පවුල් 5 කට අයත් සාමාජිකයන් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරවනු ලැබුවා.
ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරීන් අද එම නිවාස පරීක්ෂා කර ඇති අතර එහිදී පදිංචිකරුවන්ට අවධාරණය කර ඇත්තේ තවදුරටත් මෙම නිවාස නායයාමේ අවදානමට ලක්ව ඇති බවයි.
අදාළ නිවාස ඉරිතලා කාසල්රී ජලාශය දෙසට කඩා වැටීමේ අවදානමකට ද ලක්ව තිබෙනවා.
එමෙන්ම නිවාසවලට ඉහළින් ඇති විශාල පස් කන්දක් ද නායයාමේ අවදානමක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම නිවාසවල හිමිකරුවන් මේ වන විට ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව නතරවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
නායයාම් අවදානම හේතුවෙන් ඉවත්කෙරුනු පවුල් 5 ට නෝර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ස්ථානයක ඉඩමක් ලබාදීම කෙරෙහි අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවධානය යොමුවී තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ