Gossips

නායකත්වය අභියෝගයක් – සුරංග ලක්මාල්

කණ්ඩායමේ නායකත්වය දැරීම යනු දැවැන්ත අභියෝගයක් බව පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ සුරංග ලක්මාල් පවසනවා.
තරගය ජයග්‍රහණය කිරීමට දග පන්දු යවන්නන්ගෙන් ඉහළ දායකත්වයක් ලැබුනු බවයි තරගය අවසානයේ සුරංග ලක්මාල් කියාසිටියේ.
සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගය තරගය ලකුණු 278 කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
තරගයේ වීරයා සම්මානය හිමිවු දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ මෙම සම්මානය ලැබෙනු ඇතැයි අපේක්ෂාවක් නොතිබු බවයි.
ආබාධයට ලක්වීමෙන් පසු යළිත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම තුල සිටිමින් දැඩි කැපකිරීම් සිදු කල බව දිමුත් කරුණාරත්න මෙහිදී හෙළිකලා.
එමෙන්ම මෙම තරගයේදී ද තමා කඩුල්ල තුල ඉතා දැඩි කැප කිරීමක් සිදුකළ බවයි ඔහු කියාසිටියේ.
පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ දිල්රුවන් පෙරේරා ද තරගය අවසානයේ තරගය පිළිබඳ අදහස් පළකළා.
ඔහු කියාසිටියේ සෑම දග පන්දු යවන්නෙකුම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පන්දු යැවීමට කැමැත්තකින් පසුවන බවයි.
රංගන හේරත් සමග සහයෝගීත්වයෙන් පන්දු යැවීම පහසු වූ අතර දඟ පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකාව ඉතා අසීරු තත්වයකට පත්වු බව ද ඔහු පෙන්වා දුන්නා.
එම අසීරු තත්වයට පත්වුයේ රංගන හේරත් පන්දු යවමින් ඇති කළ පීඩනය හේතුවෙන් බවයි දිල්රුවන් පෙරේරා කියාසිටියේ.
මේ අතර තම කණ්ඩායමේ දුර්වලතා කිහිපයක් හේතුවෙන් පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287 ක් වැනි ඉලක්කයකට යාමට ඉඩ සැලසුනු බව දකුණු අප්‍රිකා නායක පෆ්ඩු ප්ලෙසි සඳහන් කළා.
දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට හැකිවුව ද ලැබුනු ඉළක්කය අභියෝගයක් බවයි ඔහු කියාසිටියේ.
එමෙන්ම දිමුත් කරුණාරත්නගේ පිතිහරඹය ද දකුණු අප්‍රිකා නායකයාගේ පැසසුමට ලක්වුනා.
තරගයට පෙර කෙතරම් පුහුණුවීම් සිදුකළ ද පිටියේදී තත්වය වෙනස්වන බවයි පෆ්ඩු ප්ලෙසි සඳහන් කළේ.