Gossips

නාමල් රාජපක්ෂ අද CIDයට

ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට නියමිතයි.
ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.
මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිද වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, නඩුව අවසන් වරට කැදවූ පෙරේදා දිනයේදී කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ඔහුගේ බිරිද වන ශෂී වීරවංශ ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් පැමිණ නොමැති බවටයි.
මීට පෙර ඉන්දීය ජාතිකයා අධිකරණයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිද වන ශෂී වීරවංශ හමුවීම සඳහා තමන් ඔවුන් රැදී සිටි ස්ථානවලට ගිය බවයි.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.