Gossips

නාමල් කුමාර ලබාදුන් හඬ පටවල පොලිස්පතිවරයාගේ හඬ ඇතුළත් බව තහවුරු වේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවතින සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම නඩුව අවසන් වරට කැඳවු පසුගිය 06 වනදා නිතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ඔහුට එරෙහිව පවතින සාක්ෂි ඇතුළත් වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුවයි එම දෙපාර්තමේන්තුව අද දිනයේ අදාළ සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.
එහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 26 වනදා දක්වා යළි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එමෙන්ම මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය හෙළ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ බවට රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේදී තහවුරු වී තිබෙනවා.
ඊට අදාළ වාර්තාව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, නුඹට චෙක්පත් ලැබුණේද, මුදල් ලැබුණේද, සහ එම මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට හා අවවාද ඇතුළත් සංවාද එම හඬ පටවල අන්තර්ගතව තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් පෙරේදා දිනයේදී පැය 3 කට ආසන්න කාලයක් යළි ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 4 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හේතුවෙන් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවයි ඔහු අද තුන්වන දිනටත් එම දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවේ.