Gossips

නාමල්ගෙන් CID යට පැය එකහමාරක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පැය එකහමාරක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.
ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, මීට අදාළ නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ඔවුන් ප්‍රකාශ ලබාදීම සඳහා මෙතෙක් තම දෙපාර්තමේන්තුවට පැමිණ නොමැති බවයි.
ඒ අනුවයි අද පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේ.
තමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ හමුවීම සඳහා ඔවුන් රැඳී සිටි ස්ථානවලට ගිය බව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.