Gossips

නව විදුහල්පතිට එරෙහිව ආ විරෝධය

බණ්ඩාරවෙල – සීවලී නවෝද්‍යා විද්‍යාලයට පත්ව ආ නව විදුහල්පතිවරයා අද (15) වැඩභාර ගන්නා අවස්ථාවේදී එම පාසලේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගත්තා.
එහිදී සිසුන් ඉල්ලා සිටියේ විදුහලේ හිටපු විදුහල්පතිවරයාව තමන්ට යළි අවශ්‍ය බවයි.
මෙහිදී පාසලේ ඉහළ ශ්‍රේණිවල සිසුන් පිරිසක් විදුහල්පතිවරයාගේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ හට ගත්තේ උණුසුම් තත්ත්වයක්.
එහිදී පාසලේ දේපල කිහිපයකට ද හානි සිදුවූ බව අප වාර්තාකරු කියා සිටියා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පැමිණි බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් නව විදුහල්පතිවරයා පාසලෙන් ඉවතට ගෙන යාමට කටයුතු කළා.
ඒ සිසුන් සහ දෙමාපියන්ගේ විරෝධතා මධ්‍යයේයි.
කෙසේ වෙතත්, බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කළේ පාසලේ මීට පෙර සිටි විදුහල්පතිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව තාවකාලිකව වැඩබලන විදුහල්පතිවරයෙකු පත් කළ බවයි.
ඔහු තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකු බවත්, අලුතින් විදුහලට පත් කෙරුණු විදුහල්පතිවරයා පළමු ශ්‍රේණියේ සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු බවත් එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.