Gossips

නව ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටු වාර්තා හෙට පාර්ලිමේන්තුවට

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා කිහිපයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ඊයේ රැස්වීමෙන් අනතුරුව ගනු ලැබූ තීරණයකට අනුව මෙම වාර්තා හෙට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති වාර්තා කිහිපයක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරනු ලබන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී එක් එක් දේශපාලන පක්ෂ විසින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති යෝජනා අදාළ වාර්තාවලට ඇතුළත් වනු ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයද හෙට රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර නොවැම්බර් 7 වනදා ගෙන ඒමට නොහැකිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ දින 25ක් වැනි කෙටි කාලසීමාවක් තුළ රටේ අනාගතය තීරණය වන ව්‍යවස්ථාවක් සම්මත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවක් හෙට දිනයේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.