Gossips

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දෙවන දිනටත් රැස්වේ

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දෙවන වරටත් රැස්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්වය සහ රජයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ තවත් අමාත්‍ය ධුර කිහිපයක දිවුරුම් දීම අද දිනය තුළ සිදුවීමට නියමිත බවයි.
මේ අතර රජයට සහය පළ කරන ‘‘ජනමහිමය’’ රැළිය පාර්ලිමේන්තු වටරවුම අසළදී ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කළේ අද පැවැත්වෙන ජන රැළියට සහභාගිවීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසළට ළඟාවෙමින් සිටින බවයි.
රජයට සහය පළ කෙරෙන මෙම විරෝධතාවය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක දහවල් 12 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.
මීට අමතරව පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද යොදවා තිබෙනවා.