Gossips

නව පාර්ලිමේන්තු සැසි වාරය, ආචාර වෙඩි මුරමැද උත්සවශ්‍රීයෙන්

8 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු නව සැසි වාරය උත්සවශ්‍රීයෙන් සිදුවනවා. එදින පස්වරු 2.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වන අතර, පොලිස් අශ්වාරෝහක කණ්ඩායම් පෙරදැරිව ජනාධිපතිවරයා පැමිණීමට නියමිතයි.
පොලිස් රථ පෙරදැරිය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අතර, පසුව කථානායකවරයාගේ පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරී කණ්ඩායම විසින් ඔවුන් පාර්ලිමේන්තුවට කැදවාගෙන එනු ඇති.
එහිදී ආරක්ෂක අංශ විසින් ආචාර වෙඩි මුර 21ක් පවත්වන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම පාර්ලිමේන්තු සැසි වාරය නැරඹීම සඳහා ගැලරිය සාමාන්‍ය ජනතාවට සහ පාසල් සිසුන්ට විවෘත නොවන බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියා.
කථානායකවරයාගේ ආරාධනය පරිදි අමුත්තන් 500කගෙන් යුතු පිරිසක් මෙම සැසි වාරය නැරඹීම සඳහා සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.
එමෙන්ම පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ ආසන පැනවීමේදී ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීම ද සිදුකරන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, මෙම පාර්ලිමේන්තු සැසි වාරයේදී ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබනවා.
එම ප්‍රකාශය පිළිබදව ලබන 10 වන දා එක්දින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයන් පසුගිය දා තීරණය කළා.