Gossips

නව පනතෙන් මානව හිමිකම් සුරක්ෂිතයි

නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බව ශ්‍රී ලංකාව ඊයේ (19) ජගත් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නා.
එම පනත සකස් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති අතර, නුදුරේදීම ඒ සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවයි ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක වාර්තාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයේදී ඊයේ සම්මත කර ගැනුණා.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ ජගත් සංවිධාන පද්ධතිය සහ එහි සියලුම නියෝජිත ආයතන සමඟ ශ්‍රී ලංකාව සක්‍රීය සහයෝගීතාවකින් කටයුතු කරන බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ සිද්ධීන් පිළිබඳව ද අදහස් දක්වමින් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ අදහස් පළ කළා.
එහිදී ඔහු එම සිද්ධීන් හැදින්වූයේ ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකළ බියසුළු ක්‍රියාවන් ලෙසයි.
මුස්ලිම් ජන කොටස මෙරට බහුවිධ සමාජයේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස හැදින්වූ ඔහු සියලු ජන කොටස්වලට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරලීමට රජය කටයුතු කරන බව අවධාරණය කළා.
එම සිද්ධීන් සමඟ පැනවුණු සමාජමාධ්‍ය තහනම ඉවත් කිරීමට ද රජය පියවර ගත් බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නා.