Gossips

නව දේශීය ආදායම් පනත අද සිට

නව දේශීය ආදායම් පනත අද සිට ක්‍රියාත්මකයි.
එහිදී මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කෙරෙන අතර, නව බදු හදුන්වාදීම් ද ඊට ඇතුළත්.
නව පනත හරහා මෙරට ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනය වන අතර, ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සදහාම බදු ලිපිගොනුවක් විවෘත කෙරෙනු ඇති.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ ජුලි මාසයේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පනත යළි සංශෝධනය කෙරුණු අතර එලෙස සංශෝධනය කරන ලද දේශීය ආදායම් පනත පසුගිය සැප්තැම්බර් 7 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
නව දේශීය ආදායම් පනත මගින් අද සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.
යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම ආයෝජන වත්කමක් වන ‘‘නිවහනක්’‘ විකිණීමේදී වෙළදපොලේ මිල හා විකුණුම් මිල අතර වෙනස සියයට 10 ක බද්දකට යටත් වනු ඇති.
වර්ෂයකට රුපියල් මිලියන 25 යි දශම 5 ක ආදායමක් උපයන වෘත්තිකයන්ට කලින් බලපෑ සියයට 12 ක බදු අනුපාතය සියයට 24 ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්.
මාසික ආදායම ලක්ෂ 3 කට වඩා වැඩි වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි වෘත්තීකයන්ට මෙය විශේෂයෙන් බලපානු ඇතැයි අපේක්ෂිතයි.
උපයන විට ගෙවීමේ වාර්ෂික බදු සීමා රුපියල් ලක්ෂ හතහමාරේ සිට ලක්ෂ 12 දක්වා වැඩි කර ඇති අතර දැනට අදායම් බදු ගෙවන පිරිසක් ඒ අනුව බදු ගෙවීම් වලින් නිදහස් වනවා.
මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත ද සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ද අද සිට අය කෙරෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වල පොලී ආදායම මත ද එය ක්‍රියාත්මක වන නමුදු ඒ සදහා ඉහළ සීමාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක සදහන් කළා.
මේ අතර, මෙම නව බදු පනත් කෙටුම්පත පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පනවා ඇති නව බදු ජනතාවට දරා ගත නොහැකි මට්ටමේ ඒවා බවයි.