Gossips

නව කැබිනට් මණ්ඩලය අද ප්‍රථම වරට රැස්වෙයි

පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (27) උදෑසන පැවැත්වීමට නියමිතයි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මීට පෙර කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 46 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, අද රැස්වන කැබිනට් මණ්ඩලයට තවත් එක් අමාත්‍යවරයෙකු ද එක්වනවා.
ඒ, වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීරයි.
මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ජයවික්‍රම පෙරේරායි.
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව එක් එක් අමාත්‍යාංශයන්ට අදාළ විෂය පථයන් ද ඉදිරියේදී ගැසට් කිරීමට නියමිත අතර, එහිදී දැනට පවතින විෂය පථයන්ගේ වෙනසක් සිදුවීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයාට හිමිව තිබූ රාජ්‍ය බැංකු විෂය පථය මෙවර එම අමාත්‍යාංශය හිමි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තම අමාත්‍යාංශයට හිමි රාජ්‍ය බැංකු, මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ සූදානමක් පිළිබදව තමන්ට ද තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එය එසේ සිදුනොවන බවට තමාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.