Gossips

නව කමිටුවක් යටතේ ක්‍රිකට් නිලවරණය

නව නිලවරණ කමිටුවක් පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇතැයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ඒ ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට මෙවර නිලවරණය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බවට පවසමින් නිශාන්ත රණතුංග ගොනු කර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
මෙම පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර හමුවේයි.
ඒ අනුව සැප්තැම්බර් මස 03 වනදා වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කරන ලෙසයි අභියාචනාධිකරණය දැනුම් දුන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය පසුගිය මස 14 වනදා නියෝග කළා.
ඒ අනුව අලුතින් නාම යෝජනා කැදවා ක්‍රිකට් නිලවරණය යලි පැවැත්වීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර අවසර ලබා දුන් ක්‍රීඩා පනතට අනුව නිලවරණය පැවැත්වීමට අදාල සැලැස්මක් සකස් කර අද දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසයි මීට පෙර නියෝග කෙරුණේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සභාපතිත්වය දරණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය පසුගිය මැයි මස 31 වනදා අවසන් වූ අතර , ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය පසුගිය 14 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.