Gossips

නව ඇමතිවරුන්ගේ විෂයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සදුදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
එය සකස් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවූ අතර, අග්‍රාමාත්‍යවරයා ඇතුලූව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 29 ක්.
එක් එක් අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ නිල කාර්යාලයේදී තනි තනිව දිවුරුම් දුන් අතර සාම්ප්‍රදායිකව සිදුකෙරෙන සමූහ ඡායාරූපය ලබා ගැනීම ද අද සිදුකර නැහැ.
නව අමාත්‍ය මණ්ඩල අනුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථිික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අමාත්‍ය ජෝන් අමරතුංග දිවුරුම් දුන්නේ් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි.
බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ධුරයේ ගාමිණි ජයවික්‍රම පෙරේරා දිවුරුම් දුන් අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ මංගල සමරවීර දිවුරුම් දුන්නා.
රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලයි.
නගර සැළසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් දිවුරුම් දුන් අතර, තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රවී කරුණානායකයි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත්පාලන අමාත්‍යවරයා ලෙස වජිර අබේවර්ධන, දිවුරුම් දුන් අතර, කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් දිවුරුම් දුන්නා.
පාඨලී චම්පික රණවක දිවුරුම් දුන්නේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
නවීන් දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, පී හැරිසන්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
කබීර් හෂීම් දිවුරුම් දුන්නේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම් දුන් අතර ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ ගයන්ත කරුණාතිලක දිවුරුම් දෙනු ලැබුවා.
සජිත් ප්‍රේමදාස, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත්, අර්ජුන රණතුංග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ පලනි දිගම්බරම්.
කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස චන්ද්‍රානි බණ්ඩාර දිවුරුම් දුන්නා.
තලතා අතුකෝරාල අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ අකිල විරාජ් කාරියවසම්.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අබ්දුල් හලීම් සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක දිවුරුම් දුන්නා.
විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා වන්නේ හරීන් ප්‍රනාන්දුයි.
මනෝ ගනේෂන් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දයා ගමගේ දිවුරුම් දුන් අතර, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මලික් සමරවික්‍රමයි.