Gossips

නව ආර්ථීක වැඩපිළිවෙල ලබන සතියේ (ඡායාරූප)

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනපති විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටයි.
මේ අතර 2030 වසර වනවිට ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත ,ජාතික තිරසර කතිකාවේ, පළමු කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවූවා.
ජනපති විසින් පසුගිය වසරේදී පත්කරන ලද 2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හේමන්ති රණසිංහ, ආචාර්ය ඩබ්ලිව්.එල් සුමතිපාල යන මහත්වරුන් ඇතුථ විද්වත් පිරිසක් ඊට එක්ව සිටියා.
ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වන විට ශ්‍රී ලංකාව සපුරාගත යුතු ඉලක්ක පිළිබඳව මෙහි සවිස්තරාත්මක කරුණු ඇතුළත් කර තිබෙන අතර ඒ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූවා.
මෙවැනි ජාතික තිරසර කතිකාවක් රටට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම කෙටුම්පත ඉදිරියේදී ජනගත කර ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කිරීමට නියමිත වන අතර එය ජාතික තිරසර කතිකාව නමින් එළැඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිත බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.