Gossips

නව ආණ්ඩුවට එක් නොවන බව නිදහස් සන්ධානය කියයි

නව ආණ්ඩුවට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනට තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ නව ආණ්ඩුවට එක්වන ලෙස සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඉල්ලීම් ලැබී ඇති බවයි.
දැනට කිසිවෙකුත් එවැනි තීරණයකට පැමිණ නොමැති බව ඔහු සඳහන් කළා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද යළි එම පක්ෂයට එක් නොවන බව සඳහන් කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. නාවින්න සහ ආනන්ද අලූත්ගමගේ කියා සිටියේ යළි එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවයි.
ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා ලබාගත්තා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත කියා සිටියේ තමන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ දුනේෂ් ගන්කන්දගෙන් එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට තීරණය කර ඇත්දැයි විමසීමට උත්සාහ කළ නමුත් ඔවුන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.