Gossips

නව අගමැති පත් කිරීම සිදු කළේ ව්‍යවස්ථානුකූලව බව ජනපති ජගත් මහලේකම්ට දන්වයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙසට මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබුවේ ව්‍යවස්ථානුකුළව තමා වෙත හිමි බලතල අනුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට දැනුම්දී තිබෙනවා.
ඒ ජගත් මහලේකම්වරයා සමග විශේෂ දුරකථන සංවාදයකට එක්වෙමින්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉතා මිත්‍රශීලී ආකාරයෙන් මෙම දුරකථන සංවාදය පැවති බවයි.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට මතුව ඇති දේශපාලනික තත්වය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම සංහිඳියාව සහ ප්‍රතිසංධානයට අදාළ කටයුතු නව රජය යටතේ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෑම මොහොතකම කැපවී සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව තුල පවතින තත්වයට අදාළව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති අතර දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර ගෙන යමින් සිටන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
නුදුරේදීම පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අනතුරුව පවතින සැක සංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇතිවනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ජගත් මහලේකම්වරයා මෙහිදී කියාසිටියේ සෑම අවස්ථාවකම ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම පිළිබඳ සතුටුවන බවයි.
ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා අරමුණු වෙනුවෙන් කැපවීම පිළිබඳව ද ඔහු සිය සතුට පළකර තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට තමන් ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවයි මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සඳහන් කර ඇත්තේ.
මේ අතර දේශපාලන තත්ත්වය බාධාවක් කර නොගෙන සංවර්ධන වැඩපිළිවෙල නිසි පරිදි ඉදිරියට මෙහෙය වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද අමතමින්.
වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කටයුතු කාර්යක්ෂමව මෙහෙය වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජල නිම්න – හරිත අරණ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවතී පුදබිමේදී අද ආරම්භ වුණා.