Gossips

නව අගමැති පත් කිරීමේ සහ හිටපු අගමැති ඉවත් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ (26) ඔහු වෙත යොමු කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා මගින් යොමු කළ එම ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාවට අනුව තමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.
ඔහු එම තනතුරට පත් කළේ තමා විසින් බව ද ජනාධිපතිවරයා එම ලිපිය මගින් සඳහන් කළා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ද සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ (26) දිනයේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ද එලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීම් බලධාරියා වශයෙන් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ අතර, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඔහු ඉවත් කරන ලද බවයි.