Gossips

නව අගමැතිගේ නිළ නිවසටත් විශේෂ ආරක්ෂාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (26) රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟ රට පුරා විවිධ උත්සව සංවිධාන කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමත් සමඟ ප්‍රදේශ රැසක ජනතාව එය සමරන ආකාරය ද දක්නට ලැබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ – ගංඟාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
එහිදී විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් විසින් නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරනු ලැබුවා.
අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය වෙත ගිය නව අග්‍රාමාත්‍යවරයා වෙත මහා සංඝරත්නය ආශිර්වාද පළ කළා.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිළ නිවස වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම, ආධාරකරුවන් සහ සුබ පතන්නන් ඊයේ සන්ධ්‍යා භාගයේදී රොක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ද ඊට එක්වීම විශේෂත්වයක්.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද කෙටි පණිවුඩයක් මගින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබෙනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිවස ඉදිරිපිටට යොදවා ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලය අවට ද යුද හමුදා සාමාජිකයින් යොදා ඇති ආකාරයක් ද දක්නට ලැබුණා.