Gossips

නවකවදය පිටුදැකීමට පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව ජනපති කියයි

විශ්ව විද්‍යාල තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිව යුතු සියලු පාර්ශවයන් එක් වූ පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ සදාචාරවත් නොවූ අමානුෂික නවක වදය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුල මෙරට විශ්ව විද්‍යාල සිසුන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවු බවයි.
හෙට දවසේ රට භාර ගැනීමට සිටින දරු පරපුරට එල්ලවී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් ලබාදීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් පිටුපස ඇතැම් බලලෝභී දේශපාලන සංවිධාන ද ක්‍රියාත්මක වන අතර මෙම ශිෂ්‍ය ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් සියලු පාර්ශවයන් වගකීම ඉටු කළ යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
මේ අතර ජංගම දුරකථන සහ පරිගණක හරහා සිදුවන අපරාධ පිළිබඳ රජයේ පුලුල් අවධානය යොමුවී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
යහපත් සමාජයක් තුල තාක්ෂණය නිවැරදිව භාවිතා කරන සහ සමාජ වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන මතු පරපුරක් රටට දායාද කිරීමට සියලුදෙනා තම වගකීම් ඉටු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.