Gossips

නවකවදය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් ශනිල්ක කුරුණෑගලම හඬවමින් නික්මයයි

නවකවදය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් කුරුණෑගල – කුඹුක්ගැටේ පදිංචිව සිටි ශනිල්ක දිල්හාන් සිසුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, පවුලේ සුසාන භූමියේදී.
23 හැවිරිදි ශනිල්ක මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
ප්‍රථමයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මාස 6 ක කාලයක් ඉගෙනුම ලැබූ ශනිල්ක පසුව හෝමාගම දියගම තාක්ෂණික ආයතනයේ මාස එක හමාරක කාලයක් පමණ ජාතික විද්‍යා තාක්ෂණික ඩිප්ලෝමාව හදාරා තිබෙනවා.
ඔහු පසුගිය 31 වැනිදා සිය ගෙවත්තේ ගසක එල්ලී තම ජීවිතයට සමු දී ඇත්තේ දියගම තාක්ෂණික ආයතනයේ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධයෙන් ලිපියක්ද ලියා තබමින්.
නවකවදය හේතුවෙන් ඇති වූ මානසික රෝගී තත්ත්වයට ශනිල්ක කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයෙකුගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර ලබා ඇති බව කුඹුක්ගැටේ පොලීසිය සඳහන් කළා.
ශනිල්කගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ඔහු පදිංචිව සිටි කුරුණෑගල – කුඹුක්ගැටේ ප්‍රදේශයේ පවුලේ සුසාන භූමියේදීයි.