Gossips

නයිනමඩම අනතුරෙන් මියගිය හය දෙනාගේ අවසන් කටයුතු හෙට

පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුවේ සිදු රිය අනතුරෙන් මියගිය රියදුරාගේ අවසන් කටයුතු හෙට (23) උල්හිටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර අනතුරින් මියගිය ඉතිරි පස් දෙනාගේද අවසන් කටයුතු හෙට සිදුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයෙහි 09 දෙනෙකු ගමන් කර ඇති බවට පසුව පොලිසිය අනාවරණ කරගනු ලැබුවා.
රථ වාහන නීතියට අනුව මෝටර් රථයක ගමන් කළ හැක්කේ 05 දෙනෙකුට පමණයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය, පැයට කිලෝමීටර් 100කට අධික වේගයකින් ධාවනය කර ඇති බවට ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
අධික වේගය සහ නොසැලිකිලිමත්කමින් රිය ධාවනය රිය අනතුරට හේතු වන්නට ඇති බවටයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධියට මුහුණ දුන් පිරිස වයික්කාල ප්‍රදේශයේ මංගල සාදයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නා.
කොළඹ – හලාවත මාර්ගයේ නයිනමඩම පාලම අසළ දී හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාළු ප්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ පසුගිය 20 වැනිදා අලුයම 3.15ට පමණයි.
මිය ගිය පුද්ගලයින් අවුරුදු 24,26,32,34 සහ 36 යන වයස්වල පසුවන වෙන්නප්පුව සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ එම මෝටර් රථය තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම ගිනි අවිය කුමක් සඳහා මෙම මෝටර් රථය තුළ තබා ගත්තේ ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.