Gossips

නදීමාල්, මධුෂ්ගේ සාදයට දැනගෙන ගිය බව කියයි – බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙයි

තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ඩුබායි අත්අඩංගුවේ සිට පිටුවහල් කල ඔහු සහ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා අද උදෑසන යළි දිවයිනට පැමිණි අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වුණා.
එහිදී නදීමාල් පෙරේරා සඳහන් කර ඇත්තේ අදාළ සාදය මාකඳුරේ මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවයි.
ඩුබායි බලධාරීන් තමන්ව පිටුවහල් කිරීමට පියවර ගනු ලැබුවේ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබු නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
24 වන වියේ පසුවන නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා මෙරටට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් එෆ් – Z547 දරන යානයෙන්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නදීමාල් පෙරේරාට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රය ලබාදී ඇත්තේ ඩුබායි හි රැඳී සිටින මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ බවයි.
ප්‍රශ්න කිරීම්වලදී ඒ බව නදීමාල් පෙරේරා විසින් ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළා.
දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රශ්න කළ අතර, ඔහුව මුදා හැරුණේ පස්වරු 03 ට පමණයි.
ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිටතට පැමිණීමේදී මාධ්‍යවේදීන් අදාළ සිදුවීම පිළිබඳව නදීමාල් පෙරේරාගෙන් ප්‍රශ්න කළා.
එහෙත් ඔහු ඊට කිසිවක් ප්‍රකාශ නොකරන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර, ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට යැයි පවසමින් ඩුබායි රාජ්‍යය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්නද, නදීමාල් පෙරේරා හමුවීම සඳහා අද කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.
ගුවන් තොටුපලින් පිටතට යන අවස්ථාවේදී නීතීඥ උදුල් ප්‍රේමරත්න නදීමාල් පෙරේරාට නතරවන ලෙසට දැනුම්දුන් නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
කෙසේ වෙතත්, නදීමාල් සමග පැමිණි බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මේ දක්වා මුදාහැර නොමැති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔහු මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
ඒ, කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඔහු සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන්.
මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ ඇති අතර, පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති.