Gossips

නත්තල උත්සවශ්‍රීයෙන් සැමරේ

ඊයේ මැදියම් රැයෙන් උදා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහි කෙරෙන නත්තල සියළුම කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් මේ වනවිට සමරමින් සිටිනවා.
කිතු උපත සිහිකරමින් ශ්‍රී ලංකාවාසීන් මෙන්ම ලෝකවාසීන් ද ඊයේ (24) රාත්‍රියේ දේවස්ථානවලට ගොස් දේව මෙහෙයන් සඳහා එක් වුණා.
මෙරට ප්‍රධාන නත්තල් දේව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පයාගල – ශාන්ත ජෝශෆ් දෙව් මැදුරේදීයි.
එහිදී අගරදගුරු හිමිපාණන් නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින් කියා සිටියේ දරුවන් ආරක්ෂා කරමින් ඔවුන්ව රැක බලා ගැනීමට මෙවර නත්තලේදී සියලු දෙමාපියන් අදිටන් කර ගත යුතු බවයි.
මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
උතුරු පළාතේ ප්‍රධාන දේව මෙහෙය මන්නාරම – මඩු දේවස්ථානයේදී පැවැත්වුණේ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්.
ඊට අමතරව යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය – ශාන්ත මරියා දේවස්ථානයේදී තවත් දේව මෙහෙයක් පැවැත්වුණා.
මේ අතර, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදීයි. එහිදී පාප් වහන්සේ ලෝකවාසී ජනතාවට ආශීර්වාද පැතූ අතර, නත්තල් පණිවුඩය ද දේශනා කළා.