Gossips

නඩු පැවරූ බවට ඇමරිකානු අධිකරණයකින් දැනුම්දීමක් නැතැයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ප්‍රකාශක කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, මිලින්ද රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
එමෙන්ම නඩු ගොනු කර ඇති බවට වන නිවේදනයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට භාර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
අදාළ ඡායාරූපය දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය විසින් නිකුත් කර ඇති අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ ඡායාරූපය උපුටා දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක් අසළ දී හිටපු ආරක්ෂක ලේකම්වරයාට එම නඩු පැවරීමට අදාළ බවට පැවසෙන නිවේදනයක් භාර දී ඇති බවටයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩු දෙකක් පවරා ඇති බවට ඊයේ තොරතුරු වාර්තා වී තිබුණා.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.
ඒ, තම පියාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවට පවසමින්.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග සඳහන් කළේ තමන්ට මේ පිළිබදව කරුණු තහවුරු කළ නොහැකි බවයි.
එමෙන්ම දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකු වධ හිංසාවට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම එම නඩුවට අදාළ සිතාසිය ඇමරිකාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත භාර දුන් බවට ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරත වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයෙදී ඇමරිකාවේ වෙසෙනෙ ශ්‍රී ලාංකික විද්වතුන් කිහිප දෙනෙකු හමුවී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා එළඹෙන සිකුරාදා යළි මෙරටට පැමිණීමට නියමිත බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.